06/11/2026
උතුම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය - 2026/2027
2026/2027 වර්ෂයේ උතුම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය සිරිත් පරිදි 2026 වර්ෂයේ දෙසැම්බර් මස 23 වෙනි දිනට යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දින ආරම්භ වී, 2027 මැයි මස 21 වන දිනෙන් සමාප්ත වන බව උතුම් ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසා ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල රජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය, මහෝපාධ්‍යාය අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පැවසූහ.
නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මේ බව සඳහන් කළේ, අද දින එනම් 2026.11.06 දින රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති, 2026 / 2027 උතුම් ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවේ මුලසුන හොබවමිනි.
මෙම විශේෂ සාකච්ඡාව රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ සංවිධායකත්වයෙන් පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ නායක ස්වාමීන් වහන්සේ “2026 දෙසැම්බර් මස 21 වන දින ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාර පුදබිමේදී බුද්ධාභිෂේක මංගල්‍යය හා දේවාභිෂේක මංගල්‍ය සිදු කිරීමට නියමිතයි. ඉන්පසු සධාතුක කරඬුව සහිත සමන් දේව ප්‍රතිමා වහන්සේලා හා පූජනීය වස්තූන් සමන් දේව මන්දිරයෙන් පිටතට වැඩමවීම සිදුවනවා.
ඉන්පසු එදින සවස 06.00 සිට පසු දා අළුයම 3.30 දක්වා බැතිමතුන්ගේ වන්දනාව සඳහා විවෘතව තබනවා. ඉන්පසු ගිය වසරේ මෙන්ම මෙවරත් ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් - නල්ලතන්නි මාර්ගය, බළංගොඩ මාර්ගය සහ කුරුවිට - එරත්න මර්ගය යන මාර්ග හතර (04) ඔස්සේ ම ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සිට සිරිපා මළුව වෙත, සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ වැඩම කිරීමට නියමිතයි.
ඒ අනුව 2026 දෙසැම්බර් මස 22 වන දින උදෑසන වැඩම කිරීමට නියමිත සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමා වහන්සේ 2026 දෙසැම්බර් මස 23 වන දිනට යෙදී තිබෙන උඳුවප්පුර පසළොස්වක පොහෝ දින සිරිපා මළුවේ තැන්පත් කිරීමත් සමඟ 2026 / 2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් නායක ස්වාමීන් පැවසූහ.
මෙහිදී අදහස් දැක් වූ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර ගරු චම්පා ජානකී රාජරත්න මහත්මිය සඳහන් කළේ ශ්‍රී පාදස්ථානය වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් එහි ජෛව විවිධත්වය සුරකිමින් පොලිතින් හා ප්ලාස්ටික් සිරිපා අඩවියට රැගෙන ඒමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බවයි.
එමෙන්ම මෙහිදී රත්නපුර දිස්ත්‍රික් ලේකම් / දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතා විසින්, සිරිපා වාරය පුරා සිරිපා කරුණාකරන බැතිමතුන් හා සිරිපා මළුව දක්වා ආරක්ෂාව සපයන ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලින් මෙන්ම විවිධ අත්‍යවශ්‍ය සේවාවන් සපයන ආයතන වන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ලංකා විදුලිබල මණ්ඩලය, ජලසම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් මාර්ග අමාත්‍යංශය, සෞඛ්‍ය අංශය, ප්‍රවාහන අංශය, පළාත් පාලන ආයතන ඇතුළු සියලු අංශ හා ආයතන වෙත පැවරී ඇති වගකීම් සහ එම වගකීම් ඉටු කරන ආකාරය පිළිබඳවද විමසා බලන ලදී.
මෙම අවස්ථාවට ගෞරවණීය මහා සංඝරත්නය, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල මහතා ඇතුළු අදාළ පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් උපාලි ජයසේකර, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් / දිසාපති ආර්.ඒ.ඩී.ටී.එන්. තෙන්නකෝන්, රත්නපුර නියෝජ්‍ය පොලිස්පති රේනුකා ජයසුන්දර යන මහත්ම මහත්මීන්, සබරගමුව පළාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන්, සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් සංඛ මාපිටිගම මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ අනෙකුත් දේවාලවල බස්නායක නිලමේවරුන් මෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු, සිරිපා මළුව වෙත අත්‍යවශ්‍ය සේවාවන් සපයන රාජ්‍ය ආයතනවල දිස්ත්‍රික් හා පළාත් ප්‍රධානීන් ද රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.
උපුටාගැනීම:
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය,
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය / රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව,
රත්නපුර.